ඇත්තටම ලෝකෙ හොද මිනිස්සු කියල හදුන්වන්න පුළුවන් අය ඉන්නවද. එහෙමත් නැත්නම් මෙයා හොදයි මෙයා හොද නෑ කියල වෙන් කරල හදුනගන්න පුලුවන් නිශ්චිත නිර්ණායක තියෙනවද කියන එක ගැටලුවක්. මේ ගැන ලියන්න හිතුනෙ විශේෂයෙන්ම පසුගිය දවස්වල හිතට දැනුන අනුභූතීන් කීපයකුත් එක්ක.
අපි ඕන තරම් කාටුන් බලල තියෙනව. ද්විමාන පසුබිමකදි ඕනැම ප්රපංචයක අවස්ථා දෙකක් විතරයි ඉදිරිපත් කරන්න හැකියාව තියෙන්නෙ. ඒ කියන්නෙ රූපයක උස සහ පළල විතරයිපෙන්වන්න පුළුවන්. ඒ වගේම ඒ රූප වල තියෙන්නෙ ස්වභාවයන් දෙකයි. එක්කො ධනාත්මකයි නැත්නම් සෘණාත්මකයි. නමුත් අපි ජීවත්වෙන පාට පිරුණු බහුමාන ලෝකෙ ඒ තරම් සරල නැහැ. එකම පුද්ගලයට ස්වරූපයන් කීපයක් තියෙනව. හරියට විෂ්ණු දෙවියන්ගෙ අවතාර වගේ. එකම කෙනාව එක එක අයට එක එක විදිහට පේන්නෙ ඒ අය හිටගෙන ඉන්න තැනට පේන දෘෂ්ටි කේණය අනුව. උදාහරණයක් ගමු ප්රභාකරන් මොන වගේ කෙනෙක්ද කියල ඔබෙන් ඇහුවොත් ඔබ නිසැකවම කියාවි ම්ලේච්ජ ත්‍රස්ත්‍රවාදියෙක් කියල. ඔබ එහෙම කියන්න හේතුවුන ප්‍රධානම සාධකය ඇත්තටම ප්රභාකරන් ත්‍රස්ත්‍රවාදියෙක් වීමම නෙමේ. ඔබ ශ්‍රී ලංකාවෙ ජීවත්වෙන සිංහල බෞද්ධ කියන නියැදියට අයිති කෙනෙත් වීම. ඇත්තටම අපි කරන ලොකුම වැරැද්ද තමයි වෙනත් දෘෂ්ටි ප්රවේශයන් සහිත තව නියදි තියෙනව කියන එක අමතක කිරීම.
බොහොමයක් සිනමා නිර්මාණ ගොඩනැගිල තියෙන්නෙම හොද නරක කියන අවස්ථා දෙක අතර දෝලනය වෙන පුද්ගලයින් හා සිදුවීම් කේන්ද්‍ර කරගෙන.සිනමා කෘති විතරක් නෙමේ වෙනත් සාහිත්‍ය නිර්මාණ තුළත් දකින්න පුළුවන් තේමාව මේක තමයි. ඉතින් චිත්‍රපටය අවසානයේ නරක පරදිනව හොද ජයගන්නව. කතාවෙ අන්තිම මොහොතෙදි වීරයට පරාජය වුනාට පස්සෙත් දුෂ්ටය මොකක් හරි ලොකු නොහොබිනා වැඩක් කරන්න ගිහිල්ලම සදා සොත්ති වෙන්නෙ බැරිවෙලාවත් දුෂ්ටය නරඹන්නන්ගෙ අනුකම්පාවට පාත්‍ර වුනොත් චිත්‍රපටිය පුරාවට වෙන් කරල තියාගත්තු හොද නරක කියන කුලකයන් දෙක සම්මිශ්‍රණය වෙලා රසිකයින්ට පූර්ණ තෘප්තියක් නොලැබෙයි කියන බය නිෂ්පාදකයට තියෙන නිසා. ඒත් මටනන් දැනෙන්නෙ මේ අන්ත දෙක මුහු කරලා නිර්මාණය කරපු කෘතියක සංකීර්ණ බවක් වගේම අමුතු රසවින්දනයකුත් තියෙනව කියල.
කෙලින්ම අපේ මාතෘකාවට ආවොත් ඇත්තටම අපිට කාවවත් හොදයි නරකයි කියල බෙදන්න බෑ. මිනිස්සු හරිම සංකීර්ණයි හැම කෙනෙක් තුළම හොදයි නරකයි දෙකම අඩු වැඩි වශයෙන් තියෙනවා. නරකයි කියල අයින් කරල දාන එකයි හොදයි කියල ලංකර ගන්න එකයි දෙකම ටිකක් අන්තවාදී වගේ පේන්නෙ. ෆ්‍රොයිඩ් කිව්වෙ උපතින්ම මිනිස්සු නරකයි කියල. ඒකට හේතුව ළමයෙක් ඉපදෙන්නෙත් තිරිසන් සතෙක්ගෙ වගේම අවිඥ්ඥානය විතරක් තියාගෙන. අවිඥ්ඥානය කියන්නෙ civilized නොවුන ප්‍රථමික ආශාවන් පිරුණු තිරස්චීන සිතුවිලි සමූහයක්. ඒක පිරිල තියෙන්නෙ ඊෂ්‍යාව, වෛරය, කේන්තිය, ආශාව වගේ දේවල් වලින්. හරියට නොහික්මුනු අස්සයෙක් වගේ. ඊට පස්සෙ සමාජයෙන් තමයි ශිෂ්ට සම්පන්න කරන්නෙ. කවුරුහරි කෙනෙක්ගෙ හිත හොද නෑ කියන එකෙන් තේරෙන්නෙ ඒ පුද්ගලයා හිටපු සමාජය හොද
නෑ කියන එකයි. ඒකනෙ නැන්දම්ම දිහා බලල දුවව ගන්න කියන්නෙ. දුවෙක් ශිෂ්ට සම්පන්න කරන්නෙ එයාගෙම අම්ම. ඉතින් දුවත් ගොඩක් වෙලාවට අම්ම වගේම වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒත් ඉතින් දුවගෙ පරමාදර්ශය අම්ම නොවුනොත් මේක වෙනස් වෙන්න පුළුවන්.
ඒවගේම තමයි මිනිස්සු කරන කියන දේවල් ඇත්තටම බැලුවොත් සමාජ ප්රකාශනයන් social issues විදිහටයි තේරුම් ගන්න වෙන්නෙ. එමිල් ඩර්කයිම් කියන සුප්‍රකට සමාජ විද්‍යාඥයා එයාගෙ සියදිවි නසාගැනීම පොතේදී දීර්ඝ වශයෙන් විස්තර කරල තියෙනව දිවි නසා ගැනීම සමාජ ප්රකාශනයක් මිසක් පුද්ගලික ක්‍රියාවක් නෙමේ කියල. නමුත් මිනිස්සු වහ බීපු පුද්ගලයව විවේචනය කරනව මිසක් එයාව ඒ තත්වෙට පත් කරල වහ බොන්න බලකලේ සමාජය කියන එක ගැන හිතන්නෙ නෑ.
අපි මෙතනදි ස්ත්රීවාදයෙනුත් කරුණු ටිකක් ගත්තොත් හොදයි කියල හිතුනා නොගෙන බැරි කමට. ඒත් ස්ත්‍රීවාදය කියන්නෙ වෙනමම කතා කළයුතු පුළුල් මාතෘකාවක්. සාමාන්‍යයෙන් කාන්තාවන් විසින් පිරිමි සංහතියම කොටස් දෙකකට බෙදනව. හොද පිරිමි සහ නරක පිරිමි කියල. මෙතනදි කෙනෙක් හොද පිරිමි විදිහට සලකන්නෙ තමන්ට සමීප තමන්ව ආරක්ෂා කරනව කියල හිතන අය. තාත්ත, අයිය, මල්ලි, බෝයි ෆ්‍රෙන්ඩ්, හොදම පිරිමි යාලුවා ආදී වශයෙන්. මේ අය තමන්ගෙ හොද පිරිමි ගොඩේ හිටියට වෙන කාන්තාවකට සාපේක්ෂව නරක ගොඩේ ඉන්න පිරිමි අය වෙන්නත් පුළුවන්. ඒ අය හැර සමස්ත පිරිමි ප්‍රජාවම විස්වාස නොකළයුතු ලං නොවිය යුතු අය හැටියට ඒ අයට දැනෙනවා ඇති. ඇත්තටම කාන්තාවෝ පිරිමින්ව හොද සහ නරක එහෙමත් නැත්නම් කලු සුදු විදිහට බෙදන්න යොදා ගන්න නිර්ණායකවල නිර්වද්‍යතාවය ගැන වෙලාවකට ගැටළුකාරී වගේ හිතෙන්නෙ පිරිමි නිසා කායිකව හරි මානසිකව හරි අමාරුවෙ වැටුන කාන්තාවන්ගෙ පාපොච්ජාරණ ඇහුවාම. මන්
හිතාගෙන හිටියෙ එයා හොද කෙනෙක් කියල, මම හීනෙකින්වත් හිතුවෙ නෑ මේ වගේ කෙනෙක් කියල, දැක්කහමනන් හොදයි වගේ පෙනුන, නරකයි වගේ පෙනුනට එයා හරි හොදයි, ආදි වශයෙන් වූ පශ්චාත් නිගමනයන් අපි ඕන තරන් අහල තියෙනව. එංගල්ස් කිව්වෙත් කාන්තාව ඉතිහාසය පුරාවටම පිරිමියාට රැවටෙනව කියල. නමුත් එතනදි පිරිමියා කිව්වෙ පුරුෂවාදී සමාජ දෘෂ්ටියට මිසක් හෞතික පිරිමියෙකුටම නෙමේ. කෙල්ලෙක් තමන්ගේ ආදරවන්තයව රවට්ටල කොහොමද ගෑණු මොලේ කියල ආඩම්බර උනාට එයා දන්නෙ නෑ ඉපදුනු දවසෙ ඉදන්ම එයා පිරිමින් විසින් ගොඩනගපු පුරුෂමූලික දෘෂ්ටිය කේන්ද්‍ර කරගත්තු මහා සමාජය ඇතුළ රැවටිලා ඉන්නෙ කියල. ඒක නොතේරෙන එක ඇත්තටම ගෑනුකමේ හැටිද නැත්තන් ස්ත්‍රියගේ සමාජ දෘෂ්ටියේ ස්වභාවයද කියන එක ගැන තර්ක කරන්න පුළුවන්.කොහොම වුනත් පිරිමින්ගෙන් ආරක්ෂා වෙන්න හිතාගෙන කාන්තාවො එන්නෙ පිරිමි ළගටම තමයි.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ හැම කෙනෙක් ළගම සාපේක්ෂ වශයෙන් හොද නරක දෙකම තියෙනව නරක අඩුවෙන් තියෙන අයව ජීවිතයට ලංකරගන්න එක තමයි කරන්න ඕන.යාලුවෙක් වැරැද්දක් කරපු පලියට එයා නරක කෙනෙක් විදිහටයි යම්කෙනෙක් තමන් කැමති හොද දෙයක් කළහම එයා හොද කෙනෙක් විදිහටයි ලේබල් කරන්න කලින් දෙපාරක් හිතන එක හොදයි. හැබැයි සාපේක්ෂව හොද වැඩියෙන් තියෙන අය තෝරාගැනීමේ ඵලදායීතාවය ඔබේ සමාජ විඥ්ඥානය මත තමයි රැදිල තියෙන්නෙ. එහෙම නැතුව මිනිස්සුන්ව කලු සුදු විදිහට බෙදන්න එපා. අපි ඔක්කොම අලුපාට මිනිස්සුනෙ....
නිලුශ්ක කොඩිතුවක්කු
පුරුෂවාදය නරකයි ස්ත්‍රීවාදය හොඳද
ReplyDelete