Thursday, March 15, 2018

ලේඛකයා මැරිලා!



මල් වල සුවඳ පිච්චිලා උගුර හරහා පපුවට යද්දි දුව දුව තිබ්බ හිත එක තැනක නැවතෙන්න පටන් ගත්තා. කරුමෙට ඒකත් ගිහින් නැවතුනේ එයා ගාවමයි. මට ඕනේ උනේ අලුත් වෙන්න. වෙන දෙයක් හිතන්න. මාස ගානකින් කුලිය ගෙවන්නෙ නැතුව හිතේ නැවතිලා හිටපු ඇයව මගෙ හිත් ගෙයින් එලවලා දාන්න. කිහිප වතාවක්ම එයාව එලවලා දැම්මත් මට එක දෙයක් අමතක උනා. ආයෙමත් දොර වහලා අගුල දාගන්න. ඇරිලා තිබ්බ දොරින් එයා ආයෙමත් ඇතුලු උනා.
අන්තිමේ හැමදාමත් මන් පැරදුනා. දවසින් දවස හිත අලුත් උනා. ඒත් ඒ එයාත් එක්කමයි. අලුත් උන හිතත් අරගෙන ආපස්සට හැරිලා බලද්දි මම විතරයි. එයාගෙන් පිරුන මගේ හිතත් අරගෙන මම විතරයි. ඉතින් මන් පැරදියි.

පපුවෙ තිබ්බ තවත් දුම් ගුලි‍යක් නාස් සිදුර හරහා මම වාතලයට එකතු කලා. ජංගම දුරකතනයේ සිහින් හඬින් වාදනය වෙන කපුගේගෙ සින්දුවක් හෙමිහිට කන් දෙක පුරා පිරුනා. ඒත් එක්කම තව තවත් එක්තැන් වෙච්ච මගේ හිත එයාව හොයාගෙන ගැඹුරටම ගමන් කලා.

.............ගහ කොළද මල් පිපේ ඇල දොල නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ......................

මන් රැවටුනාද? මාස ගානක ඉඳන් මගේ හිතේ කැකෑරෙන ලොකුම ප්‍රශ්ණය. ඇය මට ආදරය කලේ නෑ කියලා විශ්වාස කරන්න මට පුලුවන් කමක් නෑ. මන් ඇයට ආදරය කල තරමටම ඇයත් මට ආදරේ කල බව මන් දැනන් හිටියා.

"මට ආසයි ඔයාගේ උරහිසේ ඔලුව තියාගෙන නිදාගන්න"
ඇය හැමදාම මන්තරයක් වගේ මිමිණුවා. ඇයගේ ඒ ආසාව සංතෘප්ත වුන දිනයන් වලදි බාගෙට මගේ උරහිසට හිරවුන ඇගේ මුහුණ දිහා බලාගෙන මන් සැනසුනා. ඉඳහිට පොඩ්ඩක් පහත් වෙලා ඇගේ නළල සිපගත්තෙ ඇයව ඇහරවන්න හිතාගෙන නෙවෙයි. සමහර වෙලාවට ඇය ඇස් දෙක ලාවට ඇරලා යාන්තමට හිනා වෙලා ආයෙත් ඇස් පියාගන්නවා.
මම මගේ අතැඟිලි ඇගේ කෙස් අතරින් යවමින් රටා අඳිනවා. ඇගේ උණුසුම මගේ පපුව හරහා ඇවිත් මුලු සිරුරම සුවපත් කලේ හරිම පුදුම විදියට. ඒ උණුසුම මට දැනුත් දැනෙනවා වගේ. ඒත් දැන් ඒ උණුසුමෙන් වෙන්නෙ ඇස් ඇතුලේ දිය පාරවල් උතුරල පිටාර ගලන එක විතරයි.
ඒ දිය පාරවල් වලින් හිත මෙලෙක් කරන්න දෙන්න දෙන්න බැහැ. හිත මේ තරමට ගල් කරගත්තේ සෑහෙන්න වෙහෙස වෙලා. ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කැප කරන්න උනා. ජීවිතේ මෙච්චර කාලයක් රැකගෙන ආපු ප්‍රතිපත්ති. මගේම ස්වයං වාරණ. දැන් ඒ හැම දෙයක්ම අතීතයට අයිති පොර ටෝක් ටිකක් විතරයි. ඒ හැම දේකටම පස්සෙත් හිත ආයෙ මෙලෙක් වෙන්න ගත්තොත් මේ කැප කිරීම් කිසිම දේකින් වැඩක් නැති වෙනවා.
මම සුරතේ ඇතැඟිලි දෙතොල් වෙත ගෙන ගියා.

.........නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා..........

කපුගේගෙ කට හඬෙන් දෙන්නෙ අමුතුම හැඟීමක්. ඒ හැඟිමට තාලයයි, වචනයි, ඒ වචන වලටම ගැලපෙන මගේ අත්දැකීමුයි ඔක්කොම එකට එකතු උනාම ගීතය සම්පූර්ණයෙන්ම මගේ එකක් වෙනවා.  අමාරුම වෙන්නෙ එතකොටයි. සන්සුන් වෙලා තිබ්බ හිත ආයෙමත් කැලඹෙන්න පටන් ගන්නවා.
ඇය අවසන් වරට හමුවී මාස ගණනක් ගත වෙලා. අද අපි හරියට ආගන්තුකයින් දෙදෙනෙක් වගේ. ඇය නන්නාඳුනන්නියක් වෙන්න මන් මැරිලා ඉපඳුනේ නෑ. ඒත් ඇය හැසිරෙන්නෙ එවන් ආකාරයකට. අප යලි කවදා හමු වෙයිද? ඒ හමුවෙන මොහොත මොන වගේ එකක් වෙයිද? මන් කෙසේ හැසිරෙයිද? ඇය කෙසේ හැසිරෙයිද? එක අතකට ඇයව ආයෙත් වතාවක් හමු නොවෙන එක හොඳයි. ඒත් හිත ඇතුලෙන් ඇයව දැකගන්න ආසවන් කැකෑරෙනවා. ලොකෙන්ම ලස්සනම හිනාව තිබ්බෙ ඇයට. ඒ හිනාව මගේ උන දවසෙ මන් කොයි තරම් සතුටු උනාද. ඒත් අද ඒ හිනාවත් අරන් ඇය අතුරුදහන් වෙලා.

කපුගේගේ ගීතයේ අවසානයත් එක්කම දකුණතේ දබරඟිල්ලත් මැදඟිල්ලත් අතර ආසන්නයටම ගින්දර කොටසක උණුසුම ලන් උනා. අලුත් මල් පොකුරක් සූදානම් වන තුරු මම ජංගම දුරකතනයේ තවත් ගීයක් සොයමින් ඇඟිලි අරන් ගියා.

මේ ඉර හඳ යට හමුවී - එඩ්වඩ් ජයකොඩි

එක්තරා ගීතයක් ලඟ මගේ ඇඟිලි නතර උනා.

මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ලඟ පාතකවත් නෑ

ගීතය වාදනය කරන්නත් කලින් ගීතයේ පද මාලාව මගේ හිස ඇතුලේ ගැයෙන්න පටන් ගත්තා. ඒ වචන වලට මගේ අතීතය තනුව බවට පත් උනා. හදිසියේම හිත ඇතුලෙන් සිතිවිලි ඉපදෙන්න ගත්තා.
තොරතෝන්චියක් නැතුව ඉපදෙන සිතුවිලි රෑනක් හිත ඇතුලෙන් එලියට වෑස්සෙනවා. ඇති තරම් තීන්ත තිබ්බනම් මුලු ලෝකම වැහෙන්න ලියන්න පුලුවන් තරමේ සිතිවිලි වරුසාවක්.
බොහොම කාලෙකට ඉස්සර මගේ මනස ඇතුලේ එක්තරා ලේඛකයෙක් ජීවත් උනා. ඒත් ඒ ලෙඛකයා මැරුනා. ලේඛකයා මැරිලා හිටපු හිතෙන් කිසිම සිතුවිල්ලක් එලියට අවේ  නෑ. ඒත් අද හදිසියේම ඒ ලේඛකයට ආයෙත් පණ ලැබිලා වගෙයි.  නමුත් මට තව දුරටත් ඒ ලේඛකයා අවශ්‍ය නෑ. මොකද ඒ ලේඛකයා මගේ ජීවිතේට අරන් එන්නෙ කඳුලු තැවරුන අතීතයක් විතරයි. ඒයා මැරිලම හිටපු දෙන්. මන් ගීතය වාදනය කරන අදහස අත ඇරලා දැම්මා.
ඊට හොඳයි තව මල් සුවඳ උගුරකින් පපුව පුරවගන්න එක. මන් නිවිසැනසීලේ ඊට යොමු උනා.

"උඹ උන්නද මලාද කියලා හොයලා බලන්නෙ නැති කෙනෙක් ගැන බලාපොරොත්තු තියාගන්න එපා බන්. ඒකෙන් වෙන්නෙ උඹ විඳවන එක විතරමයි."
ටික දවසක උඩදි මුහුණු පොතේ දැකපු එක කියමනක් මට මතක් උනා. ඒ කියමන මට ආදේශ කරගන්නනම් ඇයට දෝෂාරෝපණය කරන්නට තරම් මට හිත දැඩි කරගන්න වෙනවා. ඒත් ඇයට වරදක් කියන්නට තාමත් මගේ හිත ඉඩ දෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට කාලය විසින් ගොඩක් ප්‍රශ්ණ විසඳනවා. ඒත් කාලය විසින් ඇගේ හිත තුල කිසිම වෙනසක් ඇති කරලා නැති බව ඇගේම වචන පසුගිය දවසක මට ඒත්තු ගැන්වුවා. සමහර විට  මැරුණු ලේඛකයට හදිසියේම ආයෙ පණ ලැබෙන්න ඇත්තෙත් ඒ වචන නිසා වෙන්න පුලුවන්. 
ඒක තමයි භයානකම කොටස. හොඳම දේ තමයි මැරුණු සිතුවිලි වලට ආයෙ පණ නොදෙන එක. වල දමපු දේවල් ආයෙ උඩට නොඅදින එක. මැරුණු හීන වලට ආයෙ පණ දෙන එක අවධානමක්. ඒත් ජීවිතේ කියන්නෙ අපි ඉල්ලන අපි බලාපොරොත්තු වෙන දේම නෙවෙයි.
දැන් මන් ගෙවන ජීවිතය මන් කවදාවත් ඉල්ලපු දෙයක් නෙවෙයි. මන් කවදාවත් බලාපොරොත්තු උන දෙයක් නෙවෙයි. නමුත් ඒක සිද්ද උනේ මෙහෙමයි. ඒකට වැරදිකාරයා හොය හොය නාස්ති කරන්න වෙලාවක් දැන් මට නැහැ. මොකද දැනටමත් අලුත් මල් පොකුරක් සූදානම් වෙලා. දැන් තියෙන්නෙ එක් කෙලවරකට ගින්දර ලන් කරලා දෙතොල් අතරේ රඳවගන්න විතරයි. මල් සුවඳෙන් පපුව පිරිලා යද්දි හිත ඇතුලෙ මොනවා පිරිලා යයිද කියන්න මන් දන්නෙ නෑ. 
මන් දන්නෙ එක දෙයයි. පපුව ඇතුලට ගන්න දුම් ගුලිය ආයෙ එලියට ඒවි. ඒත් හිත ඇතුලෙ පිරෙන සිතුවිලි පොදිය කවදාවත් එලියට එන එකක් නෑ.
මොකද ලේඛකයා මැරිලා!!!

Monday, March 5, 2018

විඳින්න...ඔව් පුලුවන්...



උදේම ඇවිත් බැල්කනියට ගියේ ටිකක් රිලැක්ස් වෙන්න..පාර දිහා බලන් ඉන්නෙක ටිකක් ඒකාකාරී වුණාට දිගටම ඇතුලෙ ඉන්නවට වඩා ඒක සහනයක්...ටිකක් වෙලා ඉදිද්දි සමනලයෙක් ඇවිත් ටී ශර්ට් එකේ වැහුවා...ඇඳන් හිටපු ස්කූල් ගෙට් එකේ ගත්තු ටී ශර්ට් එක තිබුණ බැච් එකට තමයි සමනලය ඇදිලා ආවේ...නිල් පසුබිමේ තියෙන කහ පැහැයට තමයි සමනලය ඇඳිල අවේ...මම හෙලවෙන්නැතුව බලන් හිටිය...ෆෝන් එක අරන් ෆොටෝ එකක් ගන්න ඕනේ වුණත් මට ඊට වඩා ඒ දිහා බලන් ඉන්න එක වටිනව කියල හිතුනා...තත්ත්පර ගාණකින් ඌ ඉගිලිල ගියා...ඒ තත්පර ගානම වෙන මුකුත් මට තිබුන්නෑ...මට ලෝකෙම අමතක වුණා කිව්වොත් හරියටම හරි....මම විනාඩි ගාණක් බලන් හිටියත් ඌ ආයේ ආවේ නෑ... මොහොතකට මම සතුටක් වින්දා...ලොකු ගාණක් වියදම් උනේ හෝ ලොකු ප්ලෑන් එකක් ගහන්න ඕන වුණේ නෑ...විමසිල්ලෙන් බලන් ඉන්න විතරයි තිබුනේ...
.
අපේ ජීවිත ඒ වගේ..විඳින්න දේවල් අපේ අවට අනන්තවත් තියෙනව..එහෙම තියෙද්දිත් අපි ජීවිතේ ඈත තියෙන ඒව දිහා බලාගෙන හූල්ලනව..
ඇයි..?
මිනිස්සුන්ගෙ පුදුමාකාර ගතියක් තියෙනව ඒකයි ඒ..
මොකක්ද ඒ ගතිය...? ඒ තමයි නොලැබෙන හෝ නොලැබුණ ඒව අපිම හයිලයිට් කරගන්නව...ඒ දේවල් තමයි ජීවිතේ තීරණය කරන්නෙ කියල හිතාගෙන ඉන්නව..ජීවිතේ අපිට මිස් වුණ අවස්ථා හෝ දේවල් ලැබුණානම් කියල අපි වොරි වෙනව..හරියට කඩල අහුර අතට ගත්තු වඳුර වගේ..බිම වැටිච්ච එක ඇටයක් වෙනුවෙන් අපි අතේ තියෙන අහුරම පැත්තකට දාලා වද වෙවී ඒකම හොයනව..ඒ මත්තෙම මැරෙනව..ඒ වෙනුවෙන් ජීවිත කාලෙම වැය කරන්න වුණත් ලෑස්තියි හැබැයි ඇහේ වදින ටොකු ඇනල වට පිටාවෙන් අපිට දෙන සරල දේවල් ගැන අපිටම තැකීමක් නෑ...වදවීමක් නෑ...
හිනාවෙන්න හේතු දාහක් ඇස් ඉස්සරහ තියෙද්දි අපි කඳුලුම මාකට් කරනව...ඇයි, ඒකේ සංවේදී ගතියක් පෙන්නන නිසා වෙන්න ඕනේ..නැත්තන් දුක් වීම හිනා වෙනවට වඩා ඇඟට දැනෙන නිසා වෙන්න ඕනේ...
.
.
ජීවිතේ හරිම සරලයි...උපදින්න වගේ මැරෙන්න වගේ අමාරුවෙන් කරන්න ඕනේ දෙයක් නෙමෙයි...ඒත් අපි විසින්ම ඒක සංකීරිණ අපහසු දෙයක් බවට පත් කරගන්නව...
වට පිටාව දිහා ඇස් ඇරැල බලන්න., මම කියන මේ කූඩුවෙන් එලියට පනින්න තරම් හයියක් හෝ වුවමණාවක් අපිට නෑ..
.
ඒකෙන් එළියට පනින්න පුලුවන් මිනිස්සු ලෝකේ ලස්සනට දකිනව...එහෙම නොදකින මිනිස්සුන්ට අනුකම්පා කරනව...ඔව් ගමේ බාසාවෙන් කියනවනම් "අපි පව්"...
.
අපි අපිවම පහල ඇදල දාන ගමන් වටපිටාවට දොස් කියනව...
ඇයි මටම..? හැම තිස්සෙම අහන ප්‍රශ්නෙ වෙනස් කරමු...
මට මේ ඇති, කියන තැනට එමු.....
.
.
ජීවිතේ සරලයි, මැරෙනවට උපදිනවට වඩා ඒ දෙක මැද්දෙ ජීවත් වීම හුඟාක් ලේසියි...බලෙන් ජීවිත සංකීර්ණ කර නොගන්නවා



නම්...
.
.
.
.
නිලුශ්ක

Monday, February 26, 2018

කොල්ලන්ට නො-දැනෙන, කෙල්ලන්ගේ මාසික වේදනාව... !!

කොල්ලන්ට නො-දැනෙන, කෙල්ලන්ගේ මාසික වේදනාව... !!




දවස් ගානක් දරන්නෝනි වේදනාව පටන් ගත්ත විතරයි. කකුල් දෙක එකට තද කරගෙන, කකුලක් උඩ කකුලක් දාගෙන ඉදල එපා වෙලා. ඒ මදිවට ඇන්දෙ කොට සාය කෑල්ලක්. දනිස්ස වහගෙන ඉදගන්නත් ඕන. කකුලක් උඩ දාගෙත්තෙ නැත්තං රිදෙන එක අඩු වෙන්නෙත් නැහැ. හැමදාම වගෙ පොත් බෑග් එක උස්සගෙන ඇවිත් තියා ගන්නෙ ඔඩොක්කුවෙ. ක්ලාස් එන ටිකට බස් එකේ සීට් එකක් සෙට් වුනෙත් නැහැ. පොඩි ලීක් එකකුත් තියෙන නිසා බෑග් එක එක උරහිසකට දාගෙන කවර් කරගෙන හිටියෙ බැග් එකෙන්ම. ඒත් කරුමෙට එතන ඉදගෙන හිටපු කොල්ල බලෙන්ම වගෙ බෑග් එකත් ගත්ත. ඊට පස්සෙ මොනව කරන්නද ඉතිං. සීට් එකේ හේත්තු වෙන තැනට සැන්ටර් වෙලා හිටගෙනම ආව ක්ලාස් එකට.


ක්ලාස් එකේ ඉදගෙන හිටියට හිත හැම තැනම. වේදනාව, කරදරය, හැම දේම මැද සර් කියන දේවල් අහගෙන හිටිය. පුරුද්දට වගේ ඇස්ප්‍රින් කට ගාන කෙල්ලෙක් නෙවෙ මම. වේදනාවට පුරුදු කර ගත්තම කරදරයක් නැහැ. නැත්තං හැමදාම බොන්න වෙයි පෙත්තක්. මේක ස්භාවධර්මය නිසා පුරුදු වෙන්න ඕන. සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ කිව්වට හැමෝම හොයන්නෙ විකල්ප. දවසක් හරි පරක්කු කර ගන්න පෙති ගහන යාලුවො ඉන්නව මගෙත්. ඒත් මම යන දවසට යන්න කියල ඉඩ අරිනවා විශේෂ දවසක් නැති වුනොත්.


එක දිගට ක්ලාස් එකේ පැය ගානක් ලැලි බංකුවට පස්ස තද කරන් ඉදල, ඔඩොක්කුවට බැග් එක තද කරන් ඉදලා දෙපැත්තම තැම්බිලා වගෙ. ඒ මදිවට පෑඩ් කෑල්ල නිසා දාඩියත් දාල. හරිම අප්‍රසන්නයි. ඒත් කොල්ලො මැරෙන්නෙ මේටිකට නේද කියල ආඩම්බරයි. උන් ගානක් නැතුව උරා බොන්නෙ ආදරේද නැත්තං පෙරේත කමද කියලත් වෙලාවකට හිතෙනවා. ඇත්තට ආදරේ නිසාම නම් ලෝකෙ කොච්චර සුන්දරද. පෙරේත කමට වුනත් ජරාවක් කන්න හිතෙන උන් ඉන්නවද, අනෙ මන්ද. වේදනාව නිසා ඒවට පිලිතුරු හොයන්න බැහැ. කෙල්ලො ටික වට වෙලා ඉන්න වෙලාවක මේක සමථ මණ්ඩලේට දාල අහගන්නෝනි උත්තර. කොල්ලො වට වෙලා මේව ගැන මොනව කියනවද කියල මට කුතුහලේ.


ඉවර වෙනකල් පැය කට්ට දිහා බලන් හිටපු ක්ලාස් එකත් ඉවරයි. අද අරු එනව කිව්ව මාව බලන්න. ඌ එක්ක ගියොත් තවත් එපා වෙනව. ඌට මොනව හිතෙයිද මන්ද. මම කිව්ව සනිප නැහැ කියල ඒත් එන්න ඕන කිව්ව බොරුවටද මන්ද. අහ් මේ තියෙන්නෙ මැසේජ් එක. අද හදිස්සි වැඩක් ලු. එන්න බැහැලු. මම ඕක කලින්ම දන්නව. උබ මේ වගේ සුනාමි දවස් මිස් කරනව කියල. මම හිතන් හිටියෙ බඩ උඩින් උගෙ ඔලුව තදකරගෙන තියාගෙන ඉන්න. මට සනීප වෙනකල්ම. කමක් නැහැ පලයන්. මම එන්න කියන්නෙ නැහැ.


ඔක්කොම පටලවගෙන නැග්ග ගෙදර යන්න බස් එකට. හිර වෙච්ච ෆුට් බෝඩ් එකෙන් රිංගල ඇතුලට ගිහින් එල්ලෙන්න වුනේ උස බට කැලි දෙකක. අත් දෙක ඇත් කරල දෙපැත්තට එල්ලිලා ඉන්නව පැද්දි පැද්දි. අනේ දෙයියනේ කියල සපෝට් එකට ආව තඩි කොල්ලෙක් බැක් අප් කරන්න පිටි පස්සෙන්. දුක හිතෙන්න ඇති මං ගැන. ඔළුවත් කැරකෙනවා, ඇගටත් අමාරුයි. කමක් නැහැ මුන් ඒ සුවදට ආස ඇති. එක්කො පෙරේත ඇති, ආදරේ ඇති. කරන්න දෙයක් නැහැ සහෝ. මම බෑග් එක දාගන්නව හරහට. උබට ගෑවෙන්න වත් බැරි තරමට. ඈත් වෙන්න. උබලට තේරෙන්නෙ නැති මේ අමාරුව උබලගෙ අම්මල විදින්න ඇති. මම ඊලග හෝල්ට් එකෙන් බහිනව..

Wednesday, February 21, 2018

හදවතට ලං වෙන්න කාටත් හොරා සිහිනයක දැවටී වෙලි...



රන් තාරකාවන් දිළෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලං වෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලි

මා දෙනෙත අඬ අදුරේ රඳවා තියා
සඳවතිය පාවී ගියා.......//
පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්
මේ හැටිම නපුරුයි කියා

රන් තාරකාවන් දිළෙන රැයේ....... 

මා උන්නෙ දොර කවුළු හැරදා තියා
ඔබෙ සුවඳ ඒ යැයි කියා.......//
නිදි නොමැති නෙත් අගට කඳූලක් තියා
මුළු රැයම ගෙවිලා ගියා

රන් තාරකාවන් දිළෙන රැයේ....... 

වයස් භේදයක් නැතිව අපි හැමෝගෙම  හිතට අමුතු විදිහෙ විරහවක් වගේම නෙතට කදුළක් දැනෙන ඉතාම හැගුම්බර ගීතයක්  මේක.  ජගත් වික්‍රමසිංහයන්ගේ ළගන්නා සුළු මිහිරි ගායනයත් ඒ් වගේම පංචසිකගෙ  වීනා නාදය වගේ ගායනයටම ගැලෙපෙන සප්තස්වරයත් නිසා මේ ගීතය සහෘදයන්ව අමුතු ලෝකයකට ගෙනියනව.  අත්දැකීමෙන්මයි කියන්නෙ රෑ නවයට විතර වගේ නිදහසේ ඉන්න වෙලාවක අැස්දෙක පියාගෙන අතීත වැලි තලාවෙන් වැහුණු ඒ අාදරණීය මතකයන් හිතේ රදවගෙන මේ ගීතය අහන්න. අැස් දෙකට කදුළු ඒනවා ඒනවාමයි.

දෙෙනික කාර්ය බහුල ජීවිතයක් ගත කරන අපි හැමෝම ඒ වැඩ කටයුතු ඔක්කොම ඉවර කලාට පස්සෙ නිදා ගන්න වෙලාව ඒනකන් ටිකක් නිවි හැනහිල්ලෙ ඉන්න වෙලාවක් තියෙනව.  පුද්ගලයගෙන් පුද්ගලයට ඒ වෙලාව වෙනස්. ඒත් පොදුවේ අට, නවය, නවයයි තිහ වගේ වෙලාවක්!  මේ වෙලාවට මුළු අහසම දහස් ගානක් තරු වලින් පිරිල. ඉමක් කොනක් නැති අහසට ඒළිය දෙන්න ඒ් තරු හොදටෝම අැති. ඒ විතරක් නෙමේ දවස පුරාම නිහඩව හිටපු සේපාලිකා ගස් වල මල් හිමින් හිමින් පිපෙන්න පටන් අරගෙන.  නිදහසේ ජීවිතය ගැන මෙනෙහි කරන්න, අතීතය අාවර්ජනය කරන්න, අනාගතය ගැන සිහින මවන්න දවසේ හොදම වෙලාව. මෙන්න මේ වගෙ වෙලාවක් තමයි ගීතයෙ පළමු පේලි කීපයෙන් කියැවෙන්නෙ.ඉතින් අපේ ගීතයට ප්‍රස්තූත වෙච්ච  මේ තරුණයාලෝකයා ඉස්සරහ නිල වශයෙන්ම වෙන් වෙලා ගිත සිය අාදරවන්තියට අාරාධනා කරනව ළගට ඒන්න කියල.  සැබෑ ලෝකෙදි අැය ඒන්නෙ නැති නිසා ඹහු ඉල්ලන්නෙ සිහිනෙක දැවටිලාහරි හැමෝටම හොරෙන් තමන් ළගට ඒන්න කියල.  කොයි තරම් අහිංසක අාරාධනයක්ද ඒක.

''හදවතට ලං වෙන්න කාටත් හොරා''
සිහිනයක දැවටී වෙලි


තමන්ගෙ ජීවිතය මහා අන්ධකාරයක තනි කරල අැය යන්න ගිහින් තියෙන්නෙ හරිම නපුරු විදිහට.  තමන් ඒක්ක අාදෙරන් බැදිල හිටිය අැය වෙන්ව ගියඒක ගැන ඔහු පුදුම වෙනව.  අැයට මේ තරම් නපුරු හිතක් තිබුනෙ කොහොමද කියල ඔහු කල්පනා කරනව.  ඉර වගේම හදත් නැගෙනහිරින් පායල බටහිරෙන් බැහැල යනවනෙ.  හද අහසෙ ගමන් කරන්නෙ හරිම හිමින්.  කොයි තරන් හිමින්ද කියනවනන් හද අහසෙන් බැහැල යනව කියල අහස දන්නෙත් හද බැහැල ගියාට පස්සෙලු.  ඉතින් ඒ වගේම මේ සදවතියත් තමන්ගෙ අාදරවන්තයගෙ ජීවිතෙන් අෑත් වෙලා තියෙන්නෙ ඔහුටත් නොදැනීමයි.

''මා දෙනෙත අඬ අදුරේ රඳවා තියා''

 සඳවතිය පාවී ගියා


කොහොම උනත් මේ අාදරවන්තය තාමත් සිය අාදරවන්තිය නැවත ඒවි කියන ප්‍රේමණීය ඒ්වගේම නිෂ්ඵල බලාපොරොත්තුවත් හිතේ කොනක හංගගෙන බලාපොරොත්තුවේ දැස් දල්වාගෙන බලාගෙන ඉන්නව.  ඒක් අතකට ඒක අරුමයක් නෙමේ.  තමන්ගෙ සුන්දර ප්‍රේමය බිද වැටිල අපේක්ෂා භංගත්වයට පත්වුණ මේ ලෝකෙ ඉන්න අාදරවන්තයින් බොහොමයක් දෙනා සිහින දකින්නෙම තමන්ගෙ ප්‍රේමය නැවත තමන් සොයාගෙන ඒනවට.  අැත්තටම විරහව කියන්නෙ මතක් කරන වාරයක් පාසා පෑරෙන  වේදනාවකින් හිත පුරවගෙන ඒ පුපුරු ගහන වේදනාව අැතුලෙ තියෙන අල්ප මාත්‍රික වින්දනයකට. ඒහෙම හැගීමක් ස්වභාව ධර්මය ඒහෙමත් නැතිනම් මානව පරිණාමය විසින් මනුෂ්‍ය චිත්තාභ්‍යන්තරයට කාවැද්දුවෙ අැයිද කියන ඒක හොයල බලන්න වටිනව. ඉතින් මේ අාදරවන්තයගෙ සිහිනය සැබෑ වෙයිද....... කොහෙත්ම නෑ.  අැය නැවත ඒන්නෙ නැ. ඒක ඔහුත් දන්නවා.

 ''නිදි නොමැති නෙත් අගට කඳූලක් තියා''
මුළු රැයම ගෙවිලා ගියා

Tuesday, February 20, 2018

ආදරය සහ විවාහයේ පැවැත්මේ රහස

කාලෙකට පස්සේ ඔන්න බ්ලොග් පැත්තට ආවා…. අද පුංචි කතන්දරයක් කියන්න තමයි යන්න….
එහෙනම් ඔන්න ළමායි දග නොකර කතන්දරේ අහන්න ඕනේ….
ඔන්න සීයෙකුයි ආච්චියෙකුයි ඉන්නවා.මේ දෙන්නා හරිම ආදරෙන් ජීවත් වෙන්නෙ.දෙන්නගෙම එකගතාවෙන් තමයි හැම දෙයක්ම වෙන්නෙ.
දවසක් මේ ගෙදරට එන අමුත්තෙක් මේ දෙන්නා ආදරෙන් ජීවත් වෙනවා දැකලා මෙහෙම අහනවා.

“ඔයාලා මේ තරම් ආදරෙන් ජීවත් වීමේ රහස මොකක්ද කියලා මටත් කියන්නකෝ”

එතකොට සීයා,ආච්චි දිහා බලාගෙන මෙහෙම කියනවා.

“අම්මා,තාත්තා,බිරිද,සහෝදර සහෝදරියෝ මේ අයට නොකියන ගොඩක් දේවල් අපි යාලුවන්ට කියනවා.මෙයා මගේ ජීවිතේට ආපු දවසේ ඉදන් මගෙ හොදම යාලුවා උනේ මෙයා.එදා ඉදන් අපි අතර කිසිම රහසක් තිබුනෙ නෑ.එයා කැමති හැම දේම මගේ කැමැත්ත උනා.මම කැමති හැම දේම එයාගෙ කැමති දේවල් උනා.ඉතින් අදටත් අපි ආදරෙන් සතුටින් ජීවත් වෙනවා.ආදරේ කරන කාලේ කියලා වෙනම කාලයක් අපිට නෑ අපි අදටත්,හැමදාමත් ආදරෙන් ඉන්නවා.කළු ගල් දෙකක් වගේ අපෙ හිත් හයියයි.කාටවත් බිදවන්න බැරිතරම් අපෙ විශ්වාසය ශක්තිමත්”

ඒ පිලිතුරෙන් ගොඩක් සතුටු උන අමුත්තා ආච්චිගෙන් මෙහෙම අහනවා.

“වරමක් දුන්නොත් ඔයා මොනවද ඉල්ලන්නෙ.”

ක්ෂනකයකින් ආච්චි මෙහෙම කියනවා සීයගෙ මූන බලාගෙන.

“මට කලින් මගෙ ආදරණීය සැමියා මැරෙන්න ඕනෙ”

මේ වචන වලට අමුත්තා පුදුම වෙනවා.ඔහු සිතනවා “ආදරය කරන කෙනා තමන්ට කලින් මැරෙනවට කැමති වෙනවා,පුදුමයිනෙ”
ඔහු දකිනවා සීයගෙ මුහුණෙ සුපුරුදු හිනාව ආච්චිගෙ මේ වචන වලට පස්සෙත් තිබෙන බව.


අමුත්තගෙ මුහුණේ ඇතිඋන කුතුහලය දැක්ක ආච්චි මෙහෙම කියනවා.

“අපි එක වහලක් යටට ආපු දවසෙ ඉදන් මම නැතුව එක දවසක්වත් මෙයා ඉදලා නෑ.දත් මදින බුරුරුවට දාන ටූත් පේස්ට් ටිකේ ඉදලා මෙයාගෙ හැම දෙයක්ම කරේ මම.ඉතින් මම නැතිව මෙයා කොහොම ඉදීද කියලා හිතෙනකොට මගෙ හිතට ගොඩක් අමාරුයි,දුකයි.මට මොහොතකට කලින් හරි මෙයා මැරෙන්න ඕනෙ.ඊලග මොහොතෙ මම කොහොමත් මැරෙනවා.”

අමුත්තා මේ හැම වදනක්ම හිතට අරන් ආදරණීය යුවලගෙන් වෙන්වෙලා ගියේ ජීවිතේ නැවුම් ආකල්ප ගොඩකුත් එක්ක.
ජීවිතේ හැම දේකටම වඩා වටින්නෙ මානුෂීය බැදීම්.රස්සාව,කාර්ය බහුලත්වය මේ කිසිම දෙයක් නිසා ඒ බැදීම් අමතක කරන්න එපා.
 
ඔයාට ඔයාගෙ රැකියාවෙදි,නිවසින් පිටතදි මුනගැහෙන බොහෝ දෙනෙක්ට ඔයා බොහොම ආචාරශීලීව සැලකුම් කරනවා නේද?

අන්න ඒ ආචාරශීලීබව,ෙගෳරවය ඔයාගෙ ආදරණීය පෙම්වතියට,බිරිදටත් ලබා දෙන්න.

උදවුවක් ලැබුන විට ස්තූති කරන්න.

ඇයව,ඔහුව අගය කරන්න.

දුරකථන ඇමතුමකදී ආචාරශීලී වන්න,ආදරණීය වන්න.
ඇය සකස් කරන ආහාර රසවත් බව ඇයට පවසන්න.

ඔහු ඔබ වෙනුවෙන් ආහාරයක් පිලියෙල කලවිට ඇතැම් විට එය රසවත් නොවුනත් ඔහුව අගය කරන්න.

අලුත් ලස්සන ඇදුමක් ඇන්දවිට ඇයව,ඔහුව අගය කරන්න.

විවාහයට පෙර පෙම්වතුන්ව,පෙම්වතියන්ව සිටි කාලයේ මෙන් ආදරණීයව හැසිරෙන්න.

ආදරයේ නැවුම් බව හැමදාමත් පවත්වාගෙන යන්න.
 
ආදරණීය ජීවත වල ආදරණීය බව රැක ගන්න මේ හැම වචනයක්ම ප්‍රයෝජනවත් වේවි.

 
ආදරණීය බැදීම් තර වේවා,ශක්තිමත් වේවා.
 
ජීවිතයේ හැම අස්සක් මුල්ලක්ම ආදරයෙන් පිරේවා.
පින්තුර ගූගල් ගෙනි…

Saturday, February 17, 2018

අලු පාට මිනිසුන් අතර...



ඇත්තටම ලෝකෙ හොද මිනිස්සු කියල හදුන්වන්න පුළුවන් අය ඉන්නවද. එහෙමත් නැත්නම් මෙයා හොදයි මෙයා හොද නෑ කියල වෙන් කරල හදුනගන්න පුලුවන් නිශ්චිත නිර්ණායක තියෙනවද කියන එක ගැටලුවක්. මේ ගැන ලියන්න හිතුනෙ විශේෂයෙන්ම පසුගිය දවස්වල හිතට දැනුන අනුභූතීන් කීපයකුත් එක්ක.


අපි ඕන තරම් කාටුන් බලල තියෙනව. ද්විමාන පසුබිමකදි ඕනැම ප්‍රපංචයක අවස්ථා දෙකක් විතරයි ඉදිරිපත් කරන්න හැකියාව තියෙන්නෙ. ඒ කියන්නෙ රූපයක උස සහ පළල විතරයිපෙන්වන්න පුළුවන්. ඒ වගේම ඒ රූප වල තියෙන්නෙ ස්වභාවයන් දෙකයි. එක්කො ධනාත්මකයි නැත්නම් සෘණාත්මකයි. නමුත් අපි ජීවත්වෙන පාට පිරුණු බහුමාන ලෝකෙ ඒ තරම් සරල නැහැ. එකම පුද්ගලයට ස්වරූපයන් කීපයක් තියෙනව. හරියට විෂ්ණු දෙවියන්ගෙ අවතාර වගේ. එකම කෙනාව එක එක අයට එක එක විදිහට පේන්නෙ ඒ අය හිටගෙන ඉන්න තැනට පේන දෘෂ්ටි කේණය අනුව. උදාහරණයක් ගමු ප්‍රභාකරන් මොන ව‍ගේ කෙනෙක්ද කියල ඔබෙන් ඇහුවොත් ඔබ නිසැකවම කියාවි ම්ලේච්ජ ත්‍රස්ත්‍රවාදියෙක් කියල. ඔබ එහෙම කියන්න හේතුවුන ප්‍රධානම සාධකය ඇත්තටම ප්‍රභාකරන් ත්‍රස්ත්‍රවාදියෙක් වීමම නෙමේ. ඔබ ශ්‍රී ලංකාවෙ ජීවත්වෙන සිංහල  ‍‍බෞද්ධ කියන නියැදියට අයිති කෙනෙත් වීම. ඇත්තටම අපි කරන ලොකුම වැරැද්ද තමයි වෙනත් දෘෂ්ටි ප්‍රවේශයන් සහිත තව නියදි තියෙනව කියන එක අමතක කිරීම.




බොහොමයක්  සිනමා නිර්මාණ ගොඩනැගිල තියෙන්නෙම හොද නරක කියන අවස්ථා දෙක අතර දෝලනය වෙන පුද්ගලයින් හා සිදුවීම් කේන්ද්‍ර කරගෙන.සිනමා කෘති විතරක් නෙමේ වෙනත් සාහිත්‍ය නිර්මාණ තුළත් දකින්න පුළුවන් තේමාව මේක තමයි. ඉතින් චිත්‍රපටය අවසානයේ නරක පරදිනව හොද ජයගන්නව‍. කතාවෙ අන්තිම මොහොතෙදි වීරයට පරාජ‍ය වුනාට පස්සෙත් දුෂ්ටය මොකක් හරි ලොකු නොහොබිනා වැඩක් කරන්න ගිහිල්ලම  සදා සොත්ති වෙන්නෙ බැරිවෙලාවත් දුෂ්ටය නරඹන්නන්ගෙ අනුකම්පාවට පාත්‍ර වුනොත් චිත්‍රපටිය පුරාවට වෙන් කරල තියාගත්තු හොද නරක කියන කුලකයන් දෙක සම්මිශ්‍රණය වෙලා රසිකයින්ට පූර්ණ තෘප්තියක් නොලැබෙයි කියන බය නිෂ්පාදකයට තියෙන නිසා. ඒත් මටනන් දැනෙන්නෙ මේ අන්ත දෙක මුහු කරලා නිර්මාණය කරපු කෘතියක සංකීර්ණ බවක් වගේම අමුතු  රසවින්දනයකුත්  තියෙනව කියල.


කෙලින්ම අපේ මාතෘකාවට ආවොත් ඇත්තටම අපිට කාවවත් හොදයි නරකයි කියල බෙදන්න බෑ. මිනිස්සු හරිම සංකීර්ණයි හැම කෙනෙක් තුළම හොදයි නරකයි දෙකම අඩු වැඩි වශයෙන් තියෙනවා. නරකයි කියල අයින් කරල දාන එකයි හොදයි කියල ලංකර ගන්න එකයි දෙකම ටිකක් අන්තවාදී වගේ පේන්නෙ. ‍‍ෆ්‍රොයිඩ් කිව්වෙ උපතින්ම මිනිස්සු නරකයි කියල. ඒකට හේතුව ළමයෙක් ඉපදෙන්නෙත් තිරිසන් සතෙක්ගෙ වගේම අවිඥ්ඥානය විතරක් තියාගෙන. අවිඥ්ඥානය කියන්නෙ civilized නොවුන ප්‍රථමික ආශාවන් පිරුණු තිරස්චීන සිතුවිලි සමූහයක්. ඒක පිරිල තියෙන්නෙ ඊෂ්‍යාව, ‍වෛරය, කේන්තිය, ආශාව වගේ දේවල් වලින්. හරියට නොහික්මුනු අස්සයෙක් වගේ. ඊට පස්සෙ සමාජයෙන් තමයි ශිෂ්ට සම්පන්න කරන්නෙ. කවුරුහරි කෙනෙක්ගෙ හිත හොද නෑ කියන එකෙන් තේරෙන්නෙ ඒ පුද්ගලයා හිටපු සමාජය හොද



නෑ කියන එකයි. ඒකනෙ නැන්දම්ම දිහා බලල දුවව ගන්න කියන්නෙ. දුවෙක් ශිෂ්ට සම්පන්න කරන්නෙ එයාගෙම අම්ම. ඉතින් දුවත් ගොඩක් වෙලාවට අම්ම වගේම  වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒත් ඉතින් දුවගෙ පරමාදර්ශය අම්ම නොවුනොත් මේක වෙනස් වෙන්න පුළුවන්.

        ඒවගේම තමයි මිනිස්සු කරන කියන දේවල් ඇත්තටම බැලුවොත් සමාජ ප්‍රකාශනයන් social issues විදිහටයි තේරුම් ගන්න වෙන්නෙ. එමිල් ඩර්කයිම් කියන සුප්‍රකට සමාජ විද්‍යාඥයා එයාගෙ සියදිවි නසාගැනීම පොතේදී දීර්ඝ වශයෙන් විස්තර කරල තියෙනව දිවි නසා ගැනීම සමාජ ප්‍රකාශනයක් මිසක් පුද්ගලික ක්‍රියාවක් නෙමේ කියල. නමුත් මිනිස්සු වහ බීපු ‍පුද්ගලයව විවේචනය කරනව මිසක් එයාව ඒ තත්වෙට පත් කරල වහ බොන්න බලකලේ සමාජය කියන එක ගැන හිතන්නෙ නෑ.


 අපි මෙතනදි  ස්ත්‍රීවාදයෙනුත් කරුණු ටිකක් ගත්තොත් හොදයි කියල හිතුනා නොගෙන බැරි කමට. ඒත් ස්ත්‍රීවාදය කියන්නෙ වෙනමම කතා කළයුතු පුළුල් මාතෘකාවක්. සාමාන්‍යයෙන් කාන්තාවන් විසින් පිරිමි සංහතියම කොටස් දෙකකට බෙදනව. හොද පිරිමි සහ නරක පිරිමි කියල. මෙතනදි කෙනෙක් හොද පිරිමි විදිහට සලකන්නෙ තමන්‍ට සමීප තමන්ව ආරක්ෂා කරනව කියල හිතන අය. තාත්ත, අයිය, මල්ලි, බෝයි ‍ෆ්‍රෙන්ඩ්, හොදම පිරිමි යාලුවා ආදී වශයෙන්. මේ අය තමන්ගෙ හොද පිරිමි ගො‍ඩේ හිටියට වෙන කාන්තාවකට සාපේක්ෂව නරක ගොඩේ ඉන්න පිරිමි අය වෙන්නත් පුළුවන්. ඒ අය හැර සමස්ත පිරිමි ප්‍රජාවම විස්වාස නොකළයුතු ලං නොවිය යුතු අය හැටියට ඒ අයට දැනෙනවා ඇති. ඇත්තටම කාන්තාවෝ පිරිමින්ව හොද සහ නරක එහෙමත් නැත්නම් කලු සුදු විදිහට බෙදන්න යොදා ගන්න නිර්ණායකවල නිර්වද්‍යතාවය ගැන වෙලාවකට ගැටළුකාරී වගේ හිතෙන්නෙ පිරිමි නිසා කායිකව හරි මානසිකව හරි අමාරුවෙ වැටුන කාන්තාවන්ගෙ පාපොච්ජාරණ ඇහුවාම. මන්



හිතාගෙන හිටියෙ එයා හොද කෙනෙක්  කියල, මම හීනෙකින්වත් හිතුවෙ නෑ මේ වගේ කෙනෙක් කියල,  දැක්කහමනන් හොදයි වගේ පෙනුන, නරකයි වගේ පෙනුනට එයා හරි හොදයි, ආදි වශයෙන් වූ පශ්චාත් නිගමනයන් අපි ඕන තරන් අහල තියෙනව. එංගල්ස් කිව්වෙත් කාන්තාව ඉතිහාසය පුරාවටම පිරිමියාට රැවටෙනව කියල. නමුත් එතනදි පිරිමියා කිව්වෙ පුරුෂවාදී සමාජ දෘෂ්ටියට මිසක් හෞතික පිරිමියෙකුටම නෙමේ. කෙල්ලෙක් තමන්ගේ ආදරවන්තයව රවට්ටල  කොහොමද ගෑණු මොලේ කියල ආඩම්බර උනාට එයා දන්නෙ නෑ ඉපදුනු දවසෙ ඉදන්ම එයා පිරිමින් විසින් ගොඩනගපු පුරුෂමූලික දෘෂ්ටිය කේන්ද්‍ර කරගත්තු මහා සමාජය ඇතුළ රැවටිලා ඉන්නෙ කියල. ඒක නොතේරෙන එක ඇත්තටම ගෑනුකමේ හැටිද නැත්තන් ස්ත්‍රියගේ සමාජ දෘෂ්ටියේ ස්වභාවයද කියන එක ගැන තර්ක කරන්න පුළුවන්.කොහොම වුනත් පිරිමින්ගෙන් ආරක්ෂා වෙන්න හිතාගෙන කාන්තාවො එන්නෙ පිරිමි ළගටම තමයි.




අවසාන වශයෙන් කියන්න තියෙන‍්නෙ හැම කෙනෙක් ළගම සාපේක්ෂ වශයෙන් හොද නරක දෙකම තියෙනව ‍නරක අඩුවෙන් තියෙන අයව ජීවිතයට ලංකරගන්න එක තමයි කරන්න ඕන.යාලුවෙක් වැරැද්දක් කරපු පලියට එයා නරක කෙනෙක් විදිහටයි යම්කෙනෙක් තමන් කැමති හොද දෙයක් කළහම එයා හොද කෙනෙක් විදිහටයි ලේබල් කරන්න කලින් දෙපාරක්  හිතන එක හොදයි. හැබැයි සාපේක්ෂව හොද වැඩියෙන් තියෙන අය තෝරාගැනීමේ ඵලදායීතාවය ඔබේ සමාජ විඥ්ඥානය මත තමයි රැදිල තියෙන්නෙ. එහෙම නැතුව මිනිස්සුන්ව කලු සුදු විදිහට බෙදන්න එපා. අපි ඔක්කොම අලුපාට මිනිස්සුනෙ....

                                   නිලුශ්ක කොඩිතුවක්කු

Thursday, February 15, 2018

නුබේ නිර්වචාරණය



දුකට බිවට මත් වතුර
සතුටට බිවට මත් වතුර
ආතල් එකට කොල්ලෝ එක්ක බිවට මත් වතුර
බිවට මත් වතුර සිපගත්තාට පොලව
දැම්මට කබරයා පොලව පුරා

නුබ සිතනා බේබද්දා නොව මා
නුබට මා එක යහළුවෙක් උවාට
මටනං දැන් නුබ සැබෑ මිතුරියකි

නමුදු
නුබ මා ගැන සිතනා දේ
එක්කෝ
වැරදි නැතහොත් හරි

මට තේරුම් ගැනීමට නොහැකි
නුබට තේරුම් ගැනීමට නොහැකි
මා මම වෙමි