සුදු යට සායේ රතු ලේ පාරක්. ගෙදරට දුවගෙන ඇවිත් ගවුම ගලවලා හෙටට අඳින්න අවුවට දාපු නිසලි යට සාය දිහා බලද්දි තමුන්ටම පොඩි ලැජ්ජාවක් දැණුනා. ගවුමටත් පාර වැදිලා ඇද්ද? තව කවුරුවත් දකින්නැද්ද? නිසලිගේ හිත ඇතුලේ තිබිච්ච ප්‍රශ්න වුනා. රෑට කෑම කනකනුත් ඇයට කල්පනා කරන්න ඒ ප්‍රශ්නය ප්‍රමානවත් වුනා. සායෙන් ලේ පාර හේදිලා ගියත්, ලේ පාර නිසලිගේ හිතෙන් හේදිලා ගියේ නෑ. ඒ දේ ගැනම කල්පනා කරපු නිසලි මහ රෑ දෙකට විතර ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන්ගේ අවසන් නිගමනේ කොලේක ලිව්වා.
හැමෝගෙම ලේ තියෙනවා. ඒත් පේන්නේ දුප්පතාගේ ලේ විතරයි.
නිසලිට එහෙම හිතන්න හේතුවක් තිබ්බා. දුක් මහන්සියෙන් ක්ලාක් රස්සාවෙන් ගෙදර රෝල ගහන තාත්තගෙන් "ලේ නොපෙන්නන්න" සල්ලි ගන්න නිසලිට හිතුනේ නෑ. ඈත් ඇගේ අම්මත් තීරණය කලා සනීපාරක්ෂක තුවායේ සනීපේ වෙනුවට නවපු කපු රෙද්දක් ඒ වෙනුවෙන් යොදාගන්න. එහෙත් අත්‍යවශ්‍ය දින වලින් සියේට බර ගානකම ලැජ්ජාව, කපු රෙද්ද විසින් නිරාවරණය කරනු ලදුව තිබුනා. අධ්‍යාපනයත් ක්‍රීඩාවත් දෙකම සම මට්ටමක තියාගෙන යන්න නිසලිට හැකි වීමම, ඇගේ උසස් පෙළ අධ්‍යාපනය "පුරාජේරු පාසලකින්" ලබන්නට පිටුවහලක් වුනා.
සුදු ගවුමේ රතු ලේ පාරක්. "ඒකේ අමුතුම ලස්සනක් තියෙනවා.." සීට් එකේ ඇතුලට යන්නට නිසලිට ඉඩ දීපු තරුණයාගේ කටින් කියවුනා. නිසලිට අතීතය මතක් වෙච්ච නිසා ගවුම දිහා නොබලාම හිතට ලැජ්ජාව ආවා. තරුණයා ඇගෙන් සමාව ඉල්ලුවා. දෙන්නම කතා කලා. හිනත් වුනා. හිනා වෙවී කතා කලා. බස් එකෙන් බැහැලා ත්‍රී වීලරේක ලැජ්ජාව වහගෙන ගෙදර යන්න නිසලිට සල්ලිත් හම්බුනා. අන්තිමට ඔහු නිසලිගේ සුළැඟිල්ලත් තදට මිරිකලා තිබ්බා. එක දිගට ගත වෙච්ච පලවෙනි සතියෙදි නිසලිගේ හිත දිනාගන්න ඔහු සමත් වුනා. දෙවනි සතිය වෙද්දි ඔහුගේ භාවිතය අත් හල ජංගම දුරකතනයක් නිසලිට මහාර්ඝ වස්තුවක් වුනා. මිදුලේ අඹ ගහට පිටුපාලා ඉන්නකොට පේන දම් පාට ඕකිඩ් පොකුරු දිහා බලාගෙන නිසලි ඔහුත් එක්ක කතා කලා. නිසලි කතා කලා. දිගින් දිගටම. එහෙම කතා කරපු මුල් කාලයේ තමන්ගේ අනාගතේ හදාගන්න හැටි ගැන නිසලි ඔහුත් එක්ක හීන මැව්වා. මාස පහක් හයක් ගත වෙද්දි ඇහැට පෙන දම් පාට ඕකිඩ් පොකුරු වලින් හිත ඉවතට ගත්තු නිසලි ඔවුන්ගේ ප්‍රේම කතාවේ වර්තමානය ගැන කියමින් ඔහු හා වැලපුනා. අවසානයේ ඇය තම ප්‍රේමයේ අතීත ගුණ කියමින් ඔහුත් සමග රණ්ඩු කලා. ඒ වෙද්දිත් දම් පාට ඕකිඩ් මල් ඉස්සර විදිහටම පිපිලා තිබුනා. ප්‍රේමය අවසන් වුනා. ඒත් ප්‍රේමයෙන් ඉතිරි වුනු මතක සැමරුම් වෙච්ච විලාසිතා ඈත් සමග එහෙමම තිබුනා. ඈ ඩ්‍රෙස් මේකින් කර තිබුනා. කේක් බේකින් කර තිබුනා. අවසානයේ බියුටි කල්චරින් සමයේ දිවියට එකතු වූ නව මැදි වියේ පෙම්වතා හේතුවෙන් ඈ නිළි මාවතට පිවිසෙමින් සිටියා.
සුදු කලිසමේ රතු ලේ පාරක්. ඈ එය දුටුවේ නිවසට පැමිණියාට පසු. ඇයව නිවසට ගෙනත් ඇරලූ ඇගේ නවමු පෙම්වතා එය දුටුවා දැයි ඇයගේ සිතේ සැකයක් තිබුනා. ඔහුගේ රියේ අසුන් කවර වල රතු පැහැය රැඳී ඇත් දැයි ඇය කල්පනා කලා. එය වඩාත් කැපී පෙනේදැයි ඇය කල්පනා කලා. ඔහුගේ මෝටර් රියේ අසුන් කවර ලා දුඹුරු පැහැ බව ඇයට මතක් වුනේ, පාළු වීදියේ වාහනය නවතා පෙම්වතා ඇගේ දෙතොල් රිදවුව අවස්ථාවේ ඈ නිසොල්මනේ බලා සිටියේ ඔහුගේ හිසට පිටුපසින් වූ ඒ දෙස නිසාවෙන්. ඇගේ කලමණාකරු තනන ලද කාල සටහනේ ඈ දිව ගියා. නවීන පන්නයට ශරීර කවරයම වෙනස් කලත් පෙර පුරුදු කපු රෙද්ද ඉවත් කිරීමට ඇයට හැකි වුනේ නෑ. සනීපාරක්ෂක තුවායේ මහත් අඩු පාඩුවක් ඇයට දැණුනා. වෙනදා දැණුනු බරම ඇයට උවමනා උනා. ඇයට සැහැල්ලුවක් උවමනා වූයේ නෑ. ඇයගේ විලාසිතා උපදේෂකවරුන්ගෙන් එයට බාධාවක් වූයේද නෑ. ඈ පෙර පුරුදු කපු රෙද්දම භාවිතා කල අතර, පෙර ලෙසටම එය විසින් ඇගේ ලැජ්ජාව නිරාවරණය කරනු ලදුව තිබුනා. එක්තරා අමාත්‍යවරයෙකුගේ වක්‍ර අනුග්‍රහයෙන් පැවැත්වෙන සිනමා සම්මාන උළෙලක ඇය පිට පිටම දෙවරක් ජනප්‍රියම නිළිය වීමම සමහරුන්ගේ සැකයට හේතු වුනා. සියලු කසු කුසු එළි පිට කියවන්නට ඉඩ සලසමින් ඈ වේදිකාවක සාරියකින් සැරසී අමාත්‍යවරයාගේ දෑත් ශක්තිමත් කරමින් සිටියා.
සුදු සාරියේ රතු ලේ පාරක්. සාරිය රත් පැහැ වීමට තරම් විශාල වැගිරීමක් ඇතුලතින් සිදු විය නොහැකියැයි ඔබ සිතන්නට ඇති. ඔව් එයින් ඇයත් පුදුම වන්නට තිබුනා. නමුත් ඇයට පුදුම වන්නට හැකියාවක් නුවූයේ ඈ ඒ බව නුදුටූ බැවින්. ඇයට එය විඳීමට හැකියාවක් වූයේ නෑ. ඈ මියැදෙමින් සිටියා. ඈ විසින් දෑත් ශක්තිමත් කල අමාත්‍යවරයාගේ බිරිය යෙදවූ නාඳුනන වෙඩික්කරුවෙකු නිසලිගේ යෝනිය පසා කරමින් වෙඩි තබා තිබුනා. ඇයට එය කණ්නාඩියෙන් බැලීමට නොහැකි වුනා. කවුරුත් එය පෙන්වා ඇයට විහිළු කලෙත් නෑ. ඇයට ඒ පිළිබඳ ලැජ්ජාවක් ඇති වූයෙත් නෑ.
No comments:
Post a Comment